Chapter 01 - කිම් සොක්ජින්

115 18 16
                                    

ඔහු ලියූ දින පොත සුපුරුදු ලෙසම මුදල් දමන ලාච්චුවේ පසෙකට දමා ලාච්චුව වසා දැම්මේය. වටපිටාව දෙස, ඔහුගේ පාරිභෝගිකයන් දෙස අවධානයක් යොමු කලත් නිදිබර දෙනෙතක් ඔහුව හොඳින් නිරීක්ෂණය කරමින් සිටිනා බවක් ඔහු නොදැන උන්නේය. නමුත් තව පැය භාගයකට පමණ පසු ඒ නිදිබර දෙනෙත් පියවී නිදා ඉන්නා අයුරු නම් ඔහුගේ ඇස ගැටුණි.

වෙන දිනවල නම් රාත්‍රී නවය පසුවන විටම සිය අවන්හල වසා නිවෙස බලා යන ඔහු අද මේ පමාවෙමින් ලතවනුයේ බිළාල පෝතකයෙක් සේ නිදාසිටින සුදුමැලි ආගන්තුක පාරිභෝගිකයා අවදි කිරීමට මැලිකමෙනි.

තවත් පැයක් ගෙවී ගොස් කොහේ හෝ දහයේ කණිසම ද නාද වෙනු ඇසුනි.

කොයි මොහොතේ හෝ ඒ තරුණයා අවදි වේ යැයි සිතමින් ඔහුගේ මුහුණ දෙස බලා සිටීම මේ පැය පුරාවට ඔහු කල එකම එක කාර්‍ය විය. ඔහු අවදි වේ යැයි මග බලා සිටියද අවන්හල පිරිසිදු කරන විට පවා ශබ්ද නොනැගෙන සේ සියල්ල සිදුකිරීමට ප්‍රවේශම් උනේ කුමන හේතුවකටදැයි දන්නේ ඔහුම පමණක් විය.

තවත් මිනිත්තු පහලොවක් ගෙවී ගියේ ඔහුගේ ඉවසීමද නිමා කරමිනි. ඔහු අසුනින් නැගිට සුදුමැලි තරුණයා වෙත ගියේ ශබ්ද නොනැගෙන තරමට සියුම් ලෙස පියවර තබමිනි.

පානය කර අවසන් කර තිබූ කෝපි බඳුන හිමින් සීරුවේ ඉවතට ගත්තේ ඔහුගේ නින්දට බාධා නොවන අයුරෙනි. එහෙත් ඒ මේසයේ පසෙක තබා තිබූ කඩදාසි සමූහය වෙත ඔහුගේ අවදානය යොමු වුනේ නිතැතිනි. උඩම ඇති කඩදාසියේ ලියා ඇති සියල්ල අවසානයේ "කිම් සොක්ජින්" යනුවෙන් අවසානයේ ලියා ඇති වග දුටු විට නම් අතට ගත් බඳුන අතින් ගිලිහෙන බවද ඔහුට දැනුනේ සිහිනයකින් මෙනි.

අතිදක්ෂ ලෙසින් කෝප්පය සුරතේ රඳවාගන්නට සමත් වුනත් ගිලිහී ගිය පීරිසිය බිඳී ගියේ ඔහුව පියවි සිහියට කැඳවමිනි. සියල්ලට පෙර ඔහුගේ අවධානය යොමු වුනේ නිදා සිටි තරුණයා වෙතටයි. ඔහු තවමත් සුව නින්දක පසුවන අයුරු දුටු විට නම් ඔහුගෙ සිතට දැනුනේ සැනසිල්ලක් පමණක්ම නොවීය. මෙතරම් ශබ්දයකට පසුත් මදකුදු නොසෙලවී සිටින්නෙ කෙසේදැයි ගැටලුවක් ද ඔහුගේ සිතට ඇතුලු වුනි.

එහෙත් සියල්ලටම පෙර ඔහු බිම විසිරී තිබූ පීරිසියේ කැබලි අතුගා ඉවත් කර සිටියේ ඒවයෙන් කැපී අනතුරක් වීමට පෙරයි.

ඔහු ඉන් පසු හිමින් සීරුවේ පැමිණ නැවතත් එබී බැලුවේ තම නම සටහන් කර තිබූ කඩදාසිය වෙතයි.

"එහෙම නම් මෙයාටත් තියෙන්නෙ මගෙ නමමද ?"
සොක්ජින් තමාටම මුමුණාගත්තේ තවමත් පහව නොගිය විමතියකිනි.

එහෙත් ඒ කඩදාසි පුරා ලියා ඇති දෙයින් නම් ඒ පුවත්පත් වාර්තාවක් බව වැටහුනත් තම නම ඇති වාර්තාකරුවෙක් ගැන කවදාවත් අසා නැත්තෙ මන්දැයි පැනයක් සොක්ජින්ගෙ සිත තුල ඇතිවුනි. ඒ වාර්තා සරල සාමාන්‍ය ඒවා නොවන වගත්, බරපතල ගණයේ දේශපාලන වාර්තා බවත් පැහැදිලි වූ නිසා මොහු ගැන නොදැන සිටීමත් සියල්ලට වඩා පුදුමයක් බව ඔහුට වැටහුනි.

සියලු දේ පැහැදිලි කරගන්නට නම් ඔහු අවදි කර සිටිය යුතු විය. ඒ නින්ද බිඳ දැමීමට සිත් නොදුන්නත්, කවර හෝරාවක් වන තෙක් බලා සිටීමට සිදුවේදැයි නොදන්නා නිසා පළමුවෙන් ඔහුගේ උරහිසෙන් අල්ලා සෙලවූවේය. ආගන්තුක තරුණයා නින්දෙන්ම ඔහුගෙ අත ඉවතට ඇද දැම්මේය. ඉන් පසු ජින් නැවතත් ඔහුව සෙලවූයෙ කතා කරමින් අවදිකරන්නට උත්සාහ කරමිනි.

"යාහ්... කිම් සොක්ජින්... ඇහැරෙන්න..."

කිහිප වරක් කෑගැසූ විට ඇස් ඇර බැලූ ආගන්තුකයා සොක්ජින් වෙත හෙලූයෙ දවාහලු කරන අන්දමේ බැල්මකි.

"මට නිදාගන්න දීලා කට වහන් මෙතනින් ගිහින් ඕනෙ කෙනෙක්ට කෑගහගන්න..."

අනතුරු ඇඟවීමක් ලෙසින් එසේ පවසා දෙකකුල්ද අසුන මතට ගෙන නිදාගත් අයුරු දෙස සොක්ජින් බලාසිටියේ ගොලු වූ මුවකිනි.

COFFEEHOLIC | SINWhere stories live. Discover now