ප්‍රජාතන්ත්‍රවාදී දිවයිනක්

25 7 3
                                    

එකෝමත් එක රටක්
තිබුණාලු ලෝකයේ
ඒ අමුතු දිවයිනක්

දිවයිනේ වැසියන්ට
තෝරගන්ට තිබුණාලු
ජීවන මං තුනකින් එකක්

බඩ ගැනම හිතලා
රට ගැන සිතුම් හංගා දමලා
අතට එන මාසෙ පඩිය ගැන හිතලා
බුද්ධිය කොහේදෝ මුල්ලක අගුලු දමලා

ඉන්නට හැකිය අතකොළුවක් වෙලා
දිවිය රැකගෙන
දරු පවුලුත් රැකගෙන
පාලක පැලැන්තියේ නාඩගම් බල බලා

අකැමති නම් එමඟට
පියනගමු වෙනත් මඟකට

බඩේ ගින්දර
හිතේ ගින්දර
මෙහැම ගින්දර පසෙක ලා
රටේ ගින්දර අරන් පෙරටම
පෙළට යමු ඒ ගිනි නිවන්නට
රට නිවා හැම සිත් නිවන්නට

නමුදු මෙමඟට පිවිසි ඔබහට
ලැබෙයි වරමක් ඉතා හනිකට
අඩි හයක් ගැඹුරැති පොළොව යට
අතුරුදන් වී යන්න සදහට
නැතොත් දිවි ඇති තුරු
එකම කුටියක හිඳ යකඩ කූරු ගනින්නට

තව මඟක් ඇත ඉතිරි වී
එයත් පවසන තුරු ඉනු මැන සමා වී

රටත් නොව බඩත් නොව
සේප්පුව ගැන සිතා
සොයා යා හැක ධනය බලය ද
සිංහයන් ඉතිරි කළ
කටු බුදින හිවලෙකු වෙලා

ඉදින් ආත්මාර්ථය ගැන සිතා
යෝධ දෑතක එල්ලිලා
වාසිම අත්තකට ගොඩවෙලා
අත් දෙක වන වනා
ඉනු හැකියි අහකට වෙලා

තවත් එක මොහොතකට
නවතිනු මැනවි සොයුර සොයුරිය
මෙයත් පවසා යන්න මා හට
නුඹ ඒ දූවේ විසූවේ නම්
කුමන දිවි මග වෙතට යන්නෙහිද?

ඉදින් අපි අතකොළුවක් වෙමුද?
අතුරුදන් වෙමුද?
අත් දෙක වන වනා
පැත්තකට වී ඉමුද?

♥shwe_min♥

ඉතින් මට කියන්න... ඔයා තෝරගන්නෙ කොයි මාර්ගයද?

ඒ වගේම මොහොතක් නැවතිලා හිතන්න... නොදැනුවත්කම නිසා අතකොළුවක් වුන අය වගේම තමන් වටේ ඉන්න අනිත් අයගෙ ආරක්ෂාව වෙනුවෙන් , තමන්ගෙ ජීවිතේ රැකගැනීම වෙනුවෙන් දැන දැනත් අතකොළු බවට පත්වෙන්න්න සිද්ධවුන අයත් කොයිතරම් නම් ඉන්නවා ඇද්ද?

රැඩිකල් පන්හිඳ || 𝐏𝐎𝐄𝐓𝐑𝐘Where stories live. Discover now