දූවක ඛේදවාචකය

29 7 4
                                    

කාලාන්තරයකට ඉස්සර
මුතු ඇටයක් සේ බැබළෙමින
ශ්‍රී නාම ලද පුංචි දූවක්
වැජඹෙමින් තිබුණා මහ සයුර මැද

එකපාරට ම
"ඇල්බට් අයින්ස්ටයින් ගම"
"ආර්නෝල්ඩ් ස්වාසනේගර් ගම"
"ලෝක පූජිත සචින් ටෙන්ඩුල්කාර් ගම"
එකී මෙකී නොකී නම්වලින්
බුරුතු පිටින් අලුත් ගම්මාන
පහළ වෙන්නට ගත්තා දූව මැද

පිහිටුවන්නට මේ ගම්මාන
දූවේ ඉඩ මදි වන්නට වූ තැන
ක්‍රියා කළේ බලවත් පැලැන්තිය
නිල නොවන මං ඔස්සේ
මහා වනාන්තර අතුරුදන් කරවන්ට

වනාන්තර අතුරුදන් වෙනකොට
ඒවායේ උන්නු වන සත්තු
මූලික අයිතිවාසිකම් සොයාගෙන
කඩාවැදුණා ගම්වලට

විදුලි වැට , වෙඩි උණ්ඩ
ගෙන ආවෙ වන සත්තු මෙල්ල කරවන්ට
බලවන්ත උදවියත්
වරින් වර ඇවිත් ගම්මානවලට
ප්‍රතිඥා දුන්නා ගම්වැසියන්ට
මේ උවදුරින් මුදවාගන්න බවට

අයිතිවාසිකම් හඬගා කියනු බැරි තැන ය
වන සත්තු වැදුණේ ගම්වලට
අමනෝඥ සංවර්ධන ව්‍යාපෘති මැද ය
අන්තිමට උන් වඳ වී ගියේ ටික ටික

කොහොමින් කොහොම හරි
පනස් වසරක් පමණ ගිය තැන,
වනාන්තර අතුරුදන් ය
වන සතුන් ද අතුරුදන් ය
දූපත තවමත්
සංවර්ධනය වෙමින් පවතී ය

තවත් කාලාන්තරයක් යනකොට
බලවන්ත පැලැන්තියේ උදවිය
අතහැර ගියා දිවයින
පොදි ගහගත්තු වස්තුවත් අරගෙන

ඇති හැකි උදවියත් හෙමිහිට
යන්නට ගියා දුරු රටවලට
ඉස්සර තම දිවයිනට
පණටත් වැඩියෙන් ප්‍රේම කළ උදවිය
යළි නොයෙන්නම රටින් නික්මුණේ
ඛේදවාචක බලා ඉන්ට බැරි තැන

යන්නම බැරි වූ උදවිය
සාගතයෙන් බැට කා අන්තිමට
වැහැරී පස් වුණා පොළොවට

මෙහෙම හිස් වී ගිය දිවයිනේ
අන්තිමට ඉතිරි වුණ කොන්ක්‍රීට් වනාන්තරය
පවරා දුන්නා විදෙස් සමාගමකට
අනූ නව වසරක් බද්දට

මෙන්න මේ විදිහට
අන්තයට ම විනාස වී ගිය
දූපතට ඇතුළු වන තැන
සවිකර තිබුණු නාම පුවරුව මත
මුලින් ම තිබූ "ශ්‍රී" අකුර කපා හැර
"චී" අකුරක් ලියා තැබුවේ කවුරුද
කියා අදටත් කවුරුත් දන්නෙ නැත

කළ කෙනා දැනගත්තත් දැන් පලක් නැත
එතන දැන් දූවක් කොහොමටත් නැත!

♥shwe_min♥

* * * * *

අද මන් මුකුත් ඕතර් නෝට් එකක් නොකියා නිහඬව ඉන්න තීරණය කළා. ඒත් මන් හිතන්නෙ ඔයාලට නම් මේක ගැන කියන්න දේවල් ඕනි තරම් තියේවි.. හොඳ , නරක ඕනිම කමෙන්ට් එකක් මන් සතුටින් භාරගන්නවා.

රැඩිකල් පන්හිඳ || 𝐏𝐎𝐄𝐓𝐑𝐘Where stories live. Discover now