~ 23 ~

170 50 6
                                    

" නවතින්න මහී.... අප ආපසු යා යුතුයි. එහි යාම භයානකයි. ඔවුන් කොයි මොහොතේ හෝ නැවත පැමිණිය හැකියි . මහීඊඊඊ..... ආපසු යමූ !! "


යුවිධායු මෙලෙස පවසමින් මහීසේනා පසුපස ගමන් කළේ ඈ ඒ කිසිවක් නොසලකා දිගටම ගමන් කරමින් සිටියදීය. පූර්ණ සුවයක් තවමත් නොලත් ඈ තුවාලය වේදනා දෙමින් තිබුණද එය දරාගනිමින්ම වෘක්ෂ කඳන් වලට වාරුදෙමින් වනය තුළින් ඇවිද ගියේ යුවිධායුත් ඈ පසුපසින් පැමිණෙද්දීය.


" නොහැකියි... මා ඔවුන්ව සොයාගෙන මිස නැවත යන්නේ නැහැ මෙවර නම්. ඔව්, කෙලෙස හෝ මා ඔවුන්ව සොයාගන්නවා. ඔබට අවැසි නම් ආපසු යා හැකියි යුවිධායු. ඔබ මා හා පැමිණීම අවශ්‍ය නැහැ "


" හහ්, ඔබ මා නැතිව යන්න ? කවුරු දනීද ඔබ තනිව ගොස් මෙවර කුමක් සිදු කරගනීවිද කියා. කරුණාකර මා පවසන දේ අහන්න මහී... ඔබට තවම එතරම් සුවයක් නැහැ. අප ආපසු ගොස් පසුව නැවත එමු ඔවුන්ව සොයන්නට "


මහීසේනාට එවදන් ඇසුණු බවක්වත් නොපෙනුණි.


" යුවිධායු, ඔබට නිසැකද ඔබ මගේ ධවලකාලයන් සිටිනු දුටුවේ අප පෙර සිටි ගුහාව අසලම බව ? "


" ඔව්.. මා ඔබට පැවසුවානේ.. මා දන්නේ නැහැ ඔවුන් ඔබේ කළුසුදුද නැද්ද යන්න, නමුත් මා හා පැටවුන් දෙදෙනෙක් නම් ඒ ගුහාද්වාරය අසල සිටිනු දුටුවා මා ඔබ වෙනුවෙන් ඔසු සොයන්නට එහි ගිය විට. මා සැඟවී බලා සිටියා.. එහි කිසිවෙක් ඒ මොහොතේ නම් සිටියේ නැහැ. නමුත් මා එතැනට යන්න තරම් නම් අඥාන වුණේ නැහැ. කවුද දන්නේ එය උගුලක්ද කියා...


අපරාදේ මා ඔබට ඔවුන් දුටු බව පැවසූවේ... ඔය හා පැටවු දෙන්නා නිසා ඔබ කීවරක් නම් ඔබේ ජීවිතය අනතුරේ දාගන්නවද ? "


යුවිධායු අමනාපය මුසු හඬකින් එලෙස පැවසුවද ඔවුන් මහීට කෙතරම් වටිනාවාද යන්න මේවන විට ඔහු හොඳින්ම අවබෝධ කරගෙන සිටියේය.


" ආහ්... අන්න ඉන්නවා ඔවුන්...අන්න ... "


මහීසේනා එක්වරම එදෙසට දුවන්නට සැරසුණද තුවාලයෙන් නැගුණු අධික වේදනාව නිසා එක්වරම ඈ එහි ඇදවැටීමට ගිය අතර, මෙවරත් ඈව රඳවා ගන්නට යුවිධායුගේ ශක්තිමත් දෑත් සමත් විය.


" ඔය ඉතින්... පැවසුවානේ ඔබට... කොහෙද ඉතින්, ඔබ මා කියන කිසිම දෙයක් අසන්නේ නැහැනේ... මදක් සන්සුන් වෙන්න මහී, දැන් අප ඔවුන්ව සොයාගත්තානේ .. "


එහෙත් ඔහුව තල්ලු කර දැමූ මහීසේනා දිව ගියේ ඔවුන්ව පෙර සිරකර දමා තිබුණු ගල්ගුහා ද්වාරය ඉදිරිපිට වූ එළිමහන් අංගනයේ එකිනෙකා හා ගුලිවී සිටි ඇගේ හා සොයුරන් වෙතය. මහීසේනාගේ තල්ලුවෙන් බිමටම ඇදවැටුණු යුවිධායු කලබලයෙන් නැවත නැගීසිට ඈ පසුපස ගියේ අවට කවුරුන් හෝ සිටිනවාදැයි විමසුම් බැලුම් හෙළන අතරතුරමය.


කලකට පසුව එකිනෙකා දුටු ළබැඳි සොයුරියගේත්, සුරතල් සොහොයුරන් දෙදෙනාගේත් හමුවීම හැඟුම්බර දසුනක් විය. මහීසේනා ඇගේ ධවලකාලයන්ව දෝතට ගෙන නොනවත්වාම සිපගත්තේ ඔවුන් තනිකර දමායාම ගැන සමාව අයදිමින් සහ ඇයව තනිකර දමා යාම පිළිබඳව ඔවුන්ට දොස් පවරමින්ය. මේ දසුන දෙස යුවිධායු බලා සිටියේ සිනාමුසු මුහුණින් යුතුවය. කටකාර, නිතර කෝපගන්න මහීගේ සංවේදී උණුසුම් හදවත පිළිබඳව ඔහු වටහාගත්තේ ඒ දසුනෙනි. මේ අපූරු දසුන දෙස බලා සිටි ඔහුගේ අවධානය බිඳී ගොස් තිබුණේ ඔහු සිනහවත් කඳුළත් මුසුව හා පැටවුන්ව සුරතල් කරන මහීසේනා දෙස ඇසිපිය නොහෙළා බලා සිටි නිසාය.


ඒ හඬ ඇසෙන විට ඔවුන් ප්‍රමාද වැඩිවිය.


" එසේනම් නුඹ තවමත් ජීවතුන් අතර, මගේ ආදරණීය නිවුන් සොයුරියනි... "




මතු සම්බන්ධයි...




***


හරිනෙ ඉතින්.  යුවිධායු කිව්ව දේ ඇහුවේ නෑනෙ  :((


ඒත් ඔන්න අපේ ධවල කාල පැටවු දෙන්නට ආයෙමත් එයාලගේ ආදරණීය අක්කණ්ඩිව ආයෙත් හම්බවුණා.


ඔව්.. සමහරවිට ඒකත් හොඳයි... මොකද වෙන වෙනම මියැදෙනවට වඩා එක්ව මියැදෙන එක හොඳයි කියනවනේ... :(((



 

මහීසේනා [ Historical ]  [✓]Where stories live. Discover now