~ 24 ~

179 47 34
                                    


" ඔබට මා පැවසුවා නොවෙද හිමක්ෂ මැය මේ උගුලට නිසැකයෙන්ම හසුවන බව... එදා මේ මුග්ධයා ඔසු සොයමින් ඇවිදිනු දුටු විට මා වටහාගත්තා නුඹ තවමත් ජීවතුන් අතර බැව්. ඉදින් අප හිතාමතාම තමයි ඔහුට මුන්ව දකින්නට සැලැස්වූයේ... නුඹ අඥාන බව දැන සිටියත් මෙතරම් අඥාන බව මා සැක කළා පමණයි. නුඹ අප යෙදූ ඇම කා ඒ සැකය තහවුරු කළා සොයුරියනි... ඇත්තෙන්ම නුඹ මගේ සොයුරිය වීමත් මට මහා නින්දාවක්."


මහීධ්විකා ගේ අපහාසාත්මක වදන් සියුම් සතුටකින්ද අනූන වූයේ ඇගේ උගුලට මහීසේනා හසුකර ගැනීමට හැකිවීම නිසාවෙනි.


" මේ නොවටිනා සතුන් දෙදෙනෙක් වෙනුවෙන් දිවිය අනතුරේ හෙළන්නට තරම් නුඹ මුග්ධ වූවා... සැබැවින්ම නුඹ උමතුවෙන්ද මේ ජරා සතුන්ට ආදරය කරන්නට තරම් ? මට නම් මේ සියල්ල විහිලුවක් ! එමෙන්ම මට මේ සතුන් දකින විට දැනෙන්නේ පිළිකුළක්... ඊටත් වඩා වෛරයක් ...මට මෙතෙක් කල් අහිමිව තිබූ සියලු සැප සම්පත් විඳි ඔවුන් දකින විට මට ඇතිවන වෛරය..."

ඇගේ දෑසේ වූ කෝපාග්නිය මහීසේනාට දැකගත හැකිවිය. නමුදු ඈට ඇගේම නිවුන් සොයුරිය තුළ වූ මේ නොමිනිස්කම් පිළිබඳව ඇතිවූයේ කනගාටුවකි. සතුන්ට ආදරය කිරීම  කොයිතරම් පහසු දෙයක්ද යන්නත්, අහිංසක සතුන්ට අහේතුකව වෛර කිරීම කොතරම් පහත් ක්‍රියාවක්ද යන්නත් මහීධ්විකා වැනි අයට කිසිදා වටහාගත නොහැකිවනු ඇත.

යුවිධායුද සිතමින් සිටියේ එයම බැව් ඔහුගේ මුවින් පිටවූ මෙවදන් සාක්ෂි දැරීය.


" නුඹ වැන්නියක් කෙසේ තේරුම්ගන්නද ආදරයක් කරුණාවක් පිළිබඳව ? තමා හා එකකුස, එකම මොහොතේ උපන් සොයුරියගේ ජීවිතය නැතිකර දැමීමට යත්න දරන නුඹත්, මොහුත් වැනි අය මේ අහිංසක සතුන්ටත් වඩා පහත් අධමයින් !!! "


හිමක්ෂ යුවිධායු දෙසට පැමිණියේ අසිපතද ඔහු දෙසට එල්ල කරගෙනය. ඔහුගේ අරමුණු වූයේ එක කඩු පහරින්ම යුවිධායුගේ ගෙල සිඳ දැමීම බැව් සැකයක් නොවීය.


" හිමක්ෂ, නවතිනු ! අපට ඔහු ගැන පසුව බලාගත හැකියි. ඉන් පෙර අප මැයව විනාශ කළ යුතුයි. සැලසුම අමතක වූවාද ඔබට ? මැගේ විනාශයයි අපේ ප්‍රධානම අරමුණ, එසේ නොවෙද? "

මහීසේනා [ Historical ]  [✓]Where stories live. Discover now