විසේ කුරුට්ටා 2

306 45 22
                                    

අද ඉස්කෝලෙ ඇරිලා ගෙදර එද්දී සොහෙල් අයියයි සුහානුයි දෙන්නත් මං එක්ක මහ ගෙදරට ආවා. අද ලොකු අම්මත් මෙහෙ ඇත්තේ.

මිදුල දිගේ ඇවිත් ඉස්තෝප්පුවෙ පඩියට අඩිය තිබ්බ ගමන් රතිඤ්ඤා වැලක් පුපුරන්න ගත්ත, අරුන් දෙන්න එළියට පනිද්දි මං බාගෙට වහල තිබ්බ දොරින් ගේ අස්සට පැන ගත්ත. දොර ඇරෙනවා එක්කම මාවත් තෙමාගෙන වතුර බාල්දියක් ඔළුව උඩට වැටුනා. බාල්දිය කෙලින්ම මගේ ඔලුවෙ නැවුන.....

සිස්සත්තෙ පාස් උනා කියල වතුර බාල්දි ඔලුවෙ නවන අම්මලා කොහෙද ඉන්නෙ, රතිඤ්ඤා නම් කමකුත් නෑ, නාවල ගෙට ගන්න ඕනද දන්නෙත් නෑනෙ. මං කලින් සිස්සත්තෙ ලියල නෑනෙ ඉතින්.

"අම්මේ"

මං වතුර බේරි බේරී ඉද්දී අම්මයි, ලොකු අම්මයි, නැනියි කලබලෙන් එළියට දුවන් ආවා.

"මොකක්ද ඒ රතිඤ්ඤා පුපුරණ සද්දයක් ආවේ..... දෙයියනේ සුදු පුතා මොකද මේ තෙමී ගෙන"

"ඇයි අම්ම නෙවෙයිද වතුර බාල්දියක් ඔළුවේ නවල මාව පිළි ගත්තේ"

"පිස්සුද ළමයෝ"

"මොකක්ද සොහෙල් උනේ"

ලොකු අම්ම ඒ ගමන සොහෙල් අයියගෙන් විස්තර අහනවා. එයා සිද්ද වෙච්චි දේ කියද්දි අම්ම කම්මුලට අත තියා ගත්තා.

"දැක්ක නේද අක්කේ අර මූසලයගේ වැඩ, මගේ කොල්ල විභාගේ පාස් උන එකට ඉරිසියාවෙ ඔය,මහ ගෑණි වගේම නැතැයි, කොහෙද ඉතින් අපේ අම්මලාට කොච්චර කිව්වත් වැඩක් නෑ උඩ තියන් ඉන්නවා "

අම්ම තරහෙන් පුපුර පුපුර එලියට ගියා, ආයෙත් ආවේ හීනි පේර කෝට්ටක් අරන්, ඒ කියන්නේ රතිඤ්ඤා පත්තු කරලා මගේ ඔළුවට වතුර බාල්දියක් හැලුවේ හා දතාද. එහෙනම් අද ඕකා ගුටි කෑවට කමක් නෑ.

"අනේ නර්මදා නෝනා පොඩි කමට කරන දේවල්නෙ ඔය, පොඩ්ඩක් බැනලා බය කරන්න ගහන්න යන්නෙ නැතුව"

"නැනී උබ කට වහන් කුස්සියට පලයන්, මේ පැත්ත පළාතක එන්න එපා"

අම්ම නැනීටත් බැනලා අක්කුවගෙ කාමරේට ගියා, ගිහින් ඒකගෙ කනෙන් ඇදන් එළියට ආවා. ඇවිත් ඌට බැන බැන පේර කෝටුවෙන් තලන්න ගත්ත, ඌ ගමටම ඇහෙන්න හූ තියන්න ඇති. නැනීට වත් බේර ගන්න බැරි තරම් අම්මට තරහා ගිහින් තියෙද්දී පේර කෝටුව කැඩෙනකම්ම අම්ම හාවට ගැහුවා. අද ඇයි සීයප්පච්චි වත් ආච්චි අම්මා වත් නැත්තේ කොහේ හරි ගිහින්ද මන්දා....

විසේ කුරුට්ටා Where stories live. Discover now