ආච්චි අම්මලගේ ගේ පිටි පස්සෙ තියෙන පේර ගහේ ගෙඩි පිරිලා, දැක්කම ආසාවේ බෑ, ඒ උනාට ඉතින් ආසාවට වත් ගෙඩියක් කන්න බෑ, අර හා දතාගෙ හා දත් පාරවල් ගෙඩි පුරාම, ඒ හා දත් වලින් බේරුණු එකම එක ගෙඩියක් හරි තියේද බලන්න ගහට නැග්ගත් මොකද ඌට වැරදිලත් නෑ බැරි වෙලත් නෑ. එකම එක ගෙඩියක් වත් ඉතුරු නෑ, සමහර ගෙඩි බාගෙට කාලා සත්තුන්ට ඉතුරු කරලා. අනිත් ගෙඩි පුරාම දත් පාරවල්. ඇයි ඉතින් ඌ ගහ බදු අරන්නෙ, වෙන කිසිම කෙනෙක්ට ගෙඩියක් කන්න නෑ.....
මං තරහෙන්ම ගහෙන් බැහැලා ඒ ලඟ තිබ්බ ගල උඩ ඉඳ ගත්ත. දැන් ඉතින් ඉක්මනට මෙහෙ දාලා යන්න වෙනවනේ, මට සතුටුයි, දුකයි දෙකම, හැබැයි වැඩිපුර තිබුණේ සතුට. මං ඉඳන් ඉද්දී හා දතා මගේ වටේ කැරකෙන්න ගත්තේ මං දිහා හොරෙන් බල බල....
"මොකද හොර ගල් අහුලන්නේ"
මං තරහෙන් ඇහුවත් මූ හිනා වෙවී මගේ ළඟට දුවන් ආවා.
"මොනාද හොර ගල් කියන්නේ, අනේ අපි අහුලමුකො "
මං දන්නවයැ හොර ගල් කියන්නේ මොනවද කියලා, ඔය අනිත් අය කියද්දි ඇහුන දෙයක්නෙ. ඒ උනාට දන්නෙ නෑ කියන්න පුළුවනෑ...
"මේ තියෙන්නේ මේවා තමයි හොර ගල් "
වෙලාවට තිරිවාන ගල් ටිකක් අහල පහල තිබ්බෙ.
"ඇයි ඉතින් ඒවා අහුලන්නෙ"
"විකුණන්න, මේවා වටිනවා"
මං එහෙම කිව්ව විතරයි මූ අහල පහල තිබ්බ තිරිවාන ගල් ටික සාක්කු දෙකට ඔබා ගත්තේ මං ඌට කලින් ඒ ටික ගනී කියල හිතල වෙන්න ඇති.
ඊට පස්සේ සාක්කු වල බරට කඩා හැලෙන කලිසම උස්ස උස්ස මං ළඟට ඇවිත් ඉඳ ගත්ත.
"මේවා කොහෙටද විකුණන්නෙ"
"කඩේට දීලා ටොෆි ඉල්ල ගන්නවා"
"හා,මං ඔයාටත් ගෙනත් දෙන්නම්. ඔයාලා රට යනවද"
"ඔව් ඇයි අහන්නේ "
"එහෙ දුරයිද"
"ඔව් අපි ප්ලේන් එකේ යන්නෙ"
"මටත් ආසයි ප්ලේන් එකක යන්න, මාවත් එක්ක යන්න බැරිද"
"අපෝ නෑ, තමුසෙ නිසා තමයි අපි මෙහෙන් යන්නෙත්. දැන් එහෙටත් එන්න හදනවද"
YOU ARE READING
විසේ කුරුට්ටා
Fanfictionඌ හැදුනෙම ඌට ඕන තාලෙට, මං වෛර කරද්දිත් ඌ හරි ලස්සනට හැමදේම අමතක කරලා මං එක්ක හිනා උනා, ඒකයි මට තරහා....