👀8 - ලොකු ඉස්කෝලේ

202 44 23
                                    

ශිෂ්‍යත්වෙ පාස් උනාට අම්මගෙන් තෑග්ගක් විදියට අනුල්‍යාට ලැබුනේ බාස්කට්බෝලයක්. ඒකට හේතුව උනේ ලොකු ඉස්කෝලෙට ගියාම සහස්‍රා එක්ක බාස්කට්බෝල් සෙල්ලම් කරන්න එන්න අනුල්‍යා සහස්‍රාට උන පොරොන්දුව. නිවාඩු කාලේ අනුල්‍යා බාස්කට්බෝල් පුරුදු උනා. එයාට ඒ කාලේ පුරාවටම සහස්‍රාගෙන් තැපෑලෙන් ලියුම් ලැබුනත් අනුල්‍යා ඒවට ප්‍රති උත්තර බඳින්නවත් ලොකු උනන්දුවක් දැක්වූවේ නෑ. ඒත් සහස්‍රා එව්ව ලියුම් වගේම නත්තල් සුභ පැතුම්පත් එයා එකතු කරලා තියාගත්තා.

ලොකු ස්කෝලෙදි අනුල්‍යාව වැටුනේ 6-C පන්තියට වෙද්දි සහස්‍රා වැටුනේ ඊටපහල පන්තියකට. ඒකට හේතුව ශිෂ්‍යත්ව ප්‍රථිඵල. දෛවයේ සරදමක් වගේ අනුල්‍යාගේ ළගින්ම හිටපු යාලුවෝ දෙන්නා වෙන නිශාධි සහස්‍රාගේ පන්තියටත් චමාලි අනුල්‍යාගේ පන්තියටත් හරි අපූරුවට වෙන වෙනම තේරී පෙත් වෙලා තිබුනා.

අනුල්‍යා, සහස්‍රා මුණගැහෙන්න සහස්‍රාගේ පන්තියට නොගිය තරම්. නමුත් සහස්‍රා අනුල්‍යා මුණගැහෙන්න නොවරදවාම පන්තිය ළගට ඒම අනුල්‍යාගේ පන්තියේ මිතුරොන්ට හිසරදයක් උනා. චමාලි පෙරමුණ කරගෙන එයාලා අනුල්‍යාගේ ඔලුවට විස පිරෙව්වේ සහස්‍රා පන්තියට එන එක නොහොබිනා වැඩක් විදියට සලකලා.

"එයා අපේ ක්ලාස් එකේ ළමයෙක් නෙමේනේ. වෙන ක්ලාස් වල ළමයි ඔයාව හම්බෙන්න ආවාම ඒකෙන් ඔයාට තමා ලොකු ප්‍රශ්නයක් වෙන්නේ අනුල්‍යා. සහස්‍රා කියන්නේ ආශ්‍රයට හොඳ ළමයෙක් නෙමේ."

ටිකෙන් ටික අනුල්‍යා සහස්‍රා මුණගැහෙන එක නතර කරා වගේම සහස්‍රාත් අනුල්‍යාගේ පන්තිය ගාවට එන එක නතර උනා. ඒකට හේතුව සහස්‍රාගේ යාලුවොත් ඒ විදියටම සහස්‍රාගේ ඔලුවට එක එක දේවල් පිරෙව්ව බවක් අනුල්‍යා දැනන් හිටියේ නෑ.

ප්‍රයිමරි එකේ ඉඳන්ම නිශාධි සහ චමාලි දෙන්නට ඕන උන විදියටම අනුල්‍යා සහ සහස්‍රා වෙන් වෙලා ගියා. ඒ මිත්‍රත්වය බොඳවෙලා ගියා.

ශිෂ්‍යත්වෙන් පස්සේ ගෙදර අයට අනුල්‍යාව සම්පුර්ණයෙන්ම අමතක වෙලාම ගියේ අනුපමීව ඕලෙවල් වලටත් අහස්නිව ශිෂ්‍යත්වෙටත් ලෑස්ති කරන්න ගෙදර අය යුහුසුලු වෙලා ඉඳපු නිසා. කිසිම කඩයිම් විභාගයක් ළග නැති අනුල්‍යා නිකන්ම නිකන් වැඩකට නැති වදකාර ළමයෙක් උනා.

DandelionWhere stories live. Discover now